small gov

එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ සම්මුතියේ (UNCCD) 17 වන පාර්ශවකරුවන්ගේ මහා සම්මේලනය (COP17) “Restoring Land. Restoring Hope.” යන තේමාව යටතේ 2026 අගෝස්තු 17 සිට 28 දක්වා මොන්ගෝලියාවේ උලාන්බාටාර් නගරයේදී පැවැත්වේ. කාන්තාරකරණය, භූමි හායනය සහ නියඟය යන අන්තර් සම්බන්ධිත ගෝලීය අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීම සහ ඒ සඳහා ජාත්‍යන්තර ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වේ.

UNCCD - COP17 තුළින් හායනයට ලක්වූ භූමි ප්‍රතිස්ථාපනය කිරීම, තිරසාර භූමි කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සහ භූමි හායන නිශේද ඉලක්ක( Land Degradation Neutrality (LDN) ) සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ. එමෙන්ම, දේශගුණික විපර්යාස හේතුවෙන් වර්ධනය වෙමින් පවතින නියඟ අවදානමට මුහුණ දීම සඳහා පූර්ව අනතුරු ඇඟවීම්, පූර්ව සූදානම සහ දිගුකාලීන නියඟ ඔරොත්තු දීමේ ක්‍රමවේද ශක්තිමත් කිරීමද ප්‍රමුඛ කරුණක් වී ඇත.

භූමි ප්‍රතිස්ථාපනය හා නියඟයට ඔරොත්තු දීම සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන වැඩි කිරීම, ජලය–ආහාර–භූමිය අතර අන්තර් සම්බන්ධතාව ශක්තිමත් කිරීම, පසෙහි සෞඛ්‍යය ආරක්ෂා කිරීම සහ තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ද UNCCD -COP17 හිදී අවධානයට ලක්වන ප්‍රධාන කරුණු වේ.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස, නියඟය, ජල හිඟය සහ භූමි හායනය වැනි පාරිසරික අභියෝගවලට වැඩි වශයෙන් නිරාවරණය වන රටක් වන අතර, එම තත්ත්වයන් කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ ජනතාවගේ ජීවනෝපායන් කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.

එබැවින්, UNCCD -COP17 ශ්‍රී ලංකාවට නියඟ අවදානම් කළමනාකරණය, තිරසාර භූමි හා ජල කළමනාකරණය මෙන්ම දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්වලට ඔරොත්තු දීමේ ජාතික හැකියාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වැදගත් ජාත්‍යන්තර වේදිකාවක් ලෙස සැලකිය හැකිය.

මෙහිදී නියඟයට ඔරොත්තු දෙන කෘෂිකාර්මික ක්‍රම, කාර්යක්ෂම ජල කළමනාකරණ තාක්ෂණ, භූමි ප්‍රතිස්ථාපනය සහ පස සංරක්ෂණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර තාක්ෂණික සහයෝගීතාව හා හවුල්කාරිත්වයන් වර්ධනය කර ගැනීමටත්, ශ්‍රී ලංකාවේ LDN ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික හා මූල්‍ය සහාය ලබා ගැනීමටත් අවස්ථාව සැලසේ. එමෙන්ම, භූමි ප්‍රතිස්ථාපනය හා නියඟයට ඔරොත්තු දීමේ වැඩසටහන් සඳහා ජාත්‍යන්තර ආයෝජන හා හවුල්කාරිත්වයන් ආකර්ෂණය කර ගැනීමටද මෙය වැදගත් අවස්ථාවකි.

මේ අතර, ශ්‍රී ලංකා පරිසර අමාත්‍යාංශයේ නියෝජිත කණ්ඩායම UNCCD- COP17 සමුළුවේ මෙතෙක් පැවති විවිධ නිල සැසි, තාක්ෂණික සාකච්ඡා, දැනුම් හුවමාරු වැඩසටහන් සහ සමගාමී වැඩසටහන් සඳහා සක්‍රීයව සහභාගී වී ඇත.

ශ්‍රී ලංකාවේ UNCCD කේන්ද්‍රීය මධ්‍යස්ථානය ලෙස පරිසර අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන කාර්යභාරය එහි ප්‍රගතිය පිළිබඳව දැනුවත් කිරීම  මෙන්ම  International Water Management Institute (IWMI) විසින් සංවිධානය කළ Drought Action Catalyst Strategies සහ Acting Before Shock: El Niño 2026 සැසිවලදී ආහාර, ජලය සහ දේශගුණික සුරක්ෂිතතාව සඳහා පූර්ව සූදානම පිළිබඳ පැවති සාකච්ඡා මණ්ඩප වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාජිකයන් ලෙස සක්‍රීයව දායකත්වය සපයා ඇත.

 එමෙන්ම, UNCCD වාර්තාකරණය ශක්තිමත් කිරීම සහ LDN ඉලක්ක සාක්ෂාත් කර ගැනීම,    Rio සම්මුතින්හි සමෝදානයන් සහ ජාතික ප්‍රතිපත්ති අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කිරීම, ජාතික නියඟ සැලසුම් සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම වැනි වැදගත් කරුණු පිළිබඳ සැසි සඳහාද, UNDP, WOCAT/CDE, University of Bern ඇතුළු හවුල්කරුවන් සමඟ ක්‍රියාත්මක වන DS4LDN ව්‍යාපෘතියේ ආරම්භක සැසිය සඳහාද පැවති සාකච්ඡා මණ්ඩප වල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමාජිකයන් ලෙස සක්‍රීයව දායකත්වය සපයා ඇත.

UNCCD - COP17 හා සමගාමීව ක්‍රියාත්මක වන Global Change Makers Academy – Parliamentarian Programme යටතේ ශ්‍රී ලංකාවේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහභාගී වී ඇති අතර, Land Youth Negotiator Programme හරහා තරුණ නිලධාරීන් දෙදෙනෙකු ද පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී සිටිති. මෙය UNCCD ක්‍රියාවලිය පිළිබඳ පාර්ලිමේන්තු මට්ටමේ දැනුවත්භාවය ඉහල නැන්වීම සහ තරුණ පරපුරේ පාරිසරික සාක්ෂරතාවය ඉහල නැංවීමටත් , පාරිසරික සාකච්ඡා මණ්ඩප සඳහා තරුණ සහභාගීත්වය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වේ.

මෙවර UNCCD COP17 ශ්‍රී ලංකාවට සුවිශේෂී සංධිස්ථානයක් වන අතර, ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයෙකු ප්‍රථම වරට UNCCD High-Level Segment සඳහා සහභාගී වීම විශේෂ වැදගත්කමක් දරයි.

ඒ අනුව, ගරු පරිසර අමාත්‍යතුමා අගෝස්තු 24 සිට 27 දක්වා High-Level Segment සඳහා සහභාගී වීමට නියමිත අතර, සමුළුවේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය සහ නියඟය, භූමි හායනය, තිරසාර භූමි කළමනාකරණය සහ දේශගුණික ඔරොත්තු දීම සම්බන්ධයෙන් රටේ අත්දැකීම් හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ වැදගත් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිතය.

එමෙන්ම, සමුළුවට සහභාගී වන විවිධ රටවල රාජ්‍ය නායකයන් සහ ඉහළ පෙළේ නියෝජිතයන් සමඟ ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමේ පාරිසරික කරුණු සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත අතර, එම සාකච්ඡා හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහයෝගීතාව, මූල්‍ය සම්පත්, ආයෝජන සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, UNCCD COP17 ශ්‍රී ලංකාවට නියඟයට ඔරොත්තු දෙන, භූමි හායනයෙන් තොර සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව, දැනුම, තාක්ෂණය සහ මූල්‍ය සම්පත් සම්බන්ධ කර ගැනීමට ලැබෙන වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

WhatsApp Image 2026 08 24 at 5.57.12 AMWhatsApp Image 2026 08 24 at 5.59.44 AMWhatsApp Image 2026 08 24 at 5.57.55 AMWhatsApp Image 2026 08 24 at 5.59.43 AM 1WhatsApp Image 2026 08 24 at 5.57.56 AM