small gov

නිල් අහස සදහා පිරිසිදු වාතය පිළිබද තුන්වන ජාත්‍යන්තර දිනය - 2022 සැප්තැම්බර් මස 07 වන දිනට යෙදී තිබුණි.  මෙම දිනය සැමරීමට අපද ගෝලීය ප්‍රජාව සමගින් සම්බන්ධ වී සිටී. ඒ අනුව යමින් පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී 2022.09.07 දින මෙම දිනය සැමරීම සදහා සැමරුම් උත්සවයක් පවත්වන ලදී.

මිනිසාගේ සෞඛ්‍යයට හා එදිනෙදා ජීවිතය සඳහා පිරිසිදු වාතයේ වැදගත්කම වටහා ගනිමින්  එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය සැප්තැම්බර් 07 ‘නිල් අහස සඳහා පිරිසිදු වාතය’ ජාත්‍යන්තර දිනය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම වසරේ තේමාව; ‘The Air We Share’ - ‘අපි බෙදාහදා ගන්නා වාතයයි’. එමගින් සාමූහික වගවීම සහ ක්‍රියාකාරීත්වයේ අවශ්‍යතාවය ඉස්මතු කරමින් වායු දූෂණය දේශසීමා නොහදුනන ස්වභාවය කෙරෙහි අවධානය යොමු කරවයි.

වායු දූෂණය, පරිසර සාධක නිසා ඇතිවන රෝග වලට විශාලතම දායකත්වය සපයන අතර, ගෝලීය මරණ අනුපාතය ඉහළ යාමට හා රෝග වැළදීමට ප්‍රධානතම හේතුවකි.

ලෝක ජනගහනයෙන් 99% ක් මේ වන විට දූෂිත වාතය ආශ්වාස කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය  අනතුරු අඟවයි. වායු දූෂණය හේතුවෙන් සෑම වසරකම මිලියන 7 ක ජනතාවක් මිය යන අතර ඔවුන්ගෙන් 90% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල බව ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත තහවුරු කරයි.

වායු දූෂණය දේශසීමා නොහදුනන අතර එය සෑම තැනම පැතිර පවතී. එපමණක් නොව, එය දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය හායනය වීම, වෙනත් ආකාරයේ පරිසර දූෂණයන්, සමාජ හා ස්ත්‍රී පුරුෂ අසමානාත්මතාවය මෙන්ම ආර්ථික බිදවැටීම වැනි අනෙකුත් ගෝලීය අර්බුදයන්ට ද දැඩි ලෙස සම්බන්ධ වේ. අපගේ වායුගෝලයට සිදුවන ඕනෑම හානියක් මෙම තීරණාත්මක ගැටළු උග්‍ර කිරීමට දායක වේ. මෙම ගැටළු සදහා වගවීම අප සැවොම සාමූහිකව දරා සිටින අතර මෙම වර්ෂයේ තේමාව ඒ බව ඉස්මතු කරයි.

පරිසර අමාත්‍යංශයේ වායු සම්පත් කළමනාකරණ හා ජාතික ඕසොන් ඒකකය විසින් තෙවන වරටත් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පවත්වන ලද සැමරුම් උත්සවය විද්වත් සාකච්ඡාවක් මූලික කර පැවත්වූ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය තුසිත සුගතපාල මහතා විසින් මෙම  සාකච්ඡාව මෙහෙයවන ලදී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර මහත්මිය, මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ආර්.එම්.එස්.කේ රත්නායක මහතා, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ එච්.ඩී.එස් ප්‍රේමසිරි මහතා සහ බ්‍රැන්ඩික්ස් පුද්ගලික ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අකිල ප්‍රනාන්දු මහතා සම්පත් දායකයින් ලෙස මෙම සාකච්ඡාවට සහභාගී විය. ‘වායු සම්පත් කළමනාකරණය සඳහා සියළු පාර්ශවයන්ගේ දායකත්වය ලබා ගැනීම’ ඊට පාදක වූ උදෘතය විය.

මෙම වැඩසටහන සදහා රාජ්‍ය සහ පුද්ගලික  පාර්ශවකාර ආයතන සහභාගී වූ අතර තේමාව ජනගත කිරීම සදහා මාධ්‍ය ආයතනවල සහයෝගයද හිමි විය.

මෙම සාකච්ඡාවේදී ඉදිරිපත්වූ යෝජනා සහ අදහස් අනුව සමාජීය ජීවන රටාවන් වෙනස් කිරීම තුලින් වායු ගෝලයට මුදාහරින වායූ දූෂකයන් අවම කර අවට වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කළ හැකිය. මේ සදහා අදාල සියළු පාර්ශවකාර ආයතන සම්බන්ධ කරගෙන ඔවුන් දිරිමත් කිරීමට කටයුතු කිරීම තුලින් ශ්‍රී ලංකාවේ අවට වායු තත්ත්වය වැඩිදියුණු කර නිල් අහසක්  වෙත පියනැගීමට පියවරක් ලෙස මෙම ජාත්‍යන්තර දිනය සන්ධිස්ථානයක් කර ගනිමු.