small gov

ජගත් මිහිතල දිනය සැමරීම - 2023 අප්‍රේල් 22

" Invest in our Planet "

“අපගේ මිහිතලය තුල ආයෝජනය කරමු”

earth day 2023

2009 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව නම් කරන ලද මෙම දිනය “පොළව මත ඇති සියළුම ජීවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම” යන්න  අරමුණු කර ගෙන ඇත. 1970 අප්‍රේල් 22 දින ජගත් මිහිතල දිනය ප්‍රථම වරට එක්සත් ජනපදයේදී සමරන ලදී. ඒ සඳහා, හේතු පාදක වූයේ යුරෝපීය ජාතීන් විසින් සිදු කරන ලද අධික සම්පත් පරිභෝජනය හේතුවෙන් සිදුවූ වායු දූෂණය සහ ජල දූෂණය හේතුවෙන් මානව සෞඛ්‍ය සඳහා එල්ලවූ තර්ජන මඟහරවා ගැනීම සඳහා ජනතාව පෙළගැසීමයි. අද වන විට රටවල් 193ක බිලියන 1 ක පමණ ජනතාව මිහිකත දිනයට සහභාගී වී පරිසරය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට අධිෂ්ඨාන කරගෙන පෙළ ගැසෙති.

ජගත් මිහිකත දින සංවිධානය විසින් මෙවර ජගත් මිහිතල දිනය තේමාව ලෙස ප්‍රකාශ කර ඇත්තේ “අපගේ මිහිතලය තුල ආයෝජනය කරමු”  (Invest in our Planet) යන්නයි. ඒ අනුව, අනාගත පරපුරෙහි අවශ්‍යතා සඳහා ස්වාභාවික සම්පත් ඉතිරිවන ලෙස තිරසර ලෙස පරිභෝජනය කිරීම පිළිබඳව අවධානය යොමු කල යුතුය. ශ්‍රී ලංකාව පමණක් නොව පොදුවේ සියලු රටවල්වලට මුහුණදී ඇති ප්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත්තේ ගෝලීය උණුසුමයි. අයිස් කඳු දියවීම හේතුවෙන් ගංවතුර අවධානම මෙන්ම සාගර ජල මට්ටම ඉහල යාම ගෝලීය උණුසුමෙහි ප්‍රතිඵලයන් ලෙස හඳුනා ගත හැකිය. එසේම, හරිතාගාර වායු විමෝචනයන්වල වැඩි ප්‍රතිශතයක වගකීම සංවර්ධිත යැයි සලකන රටවල් විසින්  දැරිය යුතු වේ. ඒ අනුව, දේශගුණ විපර්යාස හමුවේ සිදු කළ යුතු හරිත ආයෝජන, පරිසර දූෂණය වළක්වාගැනීම වෙනුවෙන් ප්ලාස්ටික් සහ පොලිතීන් නිසි පරිදි බැහැර කිරීම සහ ජෛව විවිධත්ව සංරක්ෂණය කෙරෙහි අවධානය යොමු කරනු  ලැබේ

ජගත් මිහිතල දිනයේ ආරම්භය හා විකාශනය

ලොව පළමුවරට මිහිතල දිනය සැමරුනේ 1970 වර්ෂයේදීය. මේ සඳහා පුරෝගාමී වී කටයුතු කරන ලද්දේ ඇමරිකානු සෙනෙට් සභිකයෙකු හා පරිසරවේදියකු වු ගේලෝඩ් නෙල්සන් නැමැත්තෙකි. ඔහු හා හාවඩ් විශ්වවිද්‍යාලයේ දේශපාලනිකව ක්‍රියාකාරී සරසවි සිසුවෙකු වූ ඩෙනිස් හේස් විසින් මිහිතල දිනය වශයෙන් අප්‍රේල් 22 යොදාගන්නා ලදි. ඔවුන් විසින් 1970 අප්‍රේල් මස 22 දින දහස් ගනන් ජනතාව විදීවලට ගෙන්වා ඇමරිකාවේ පැවති පරිසර විනාශය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම හා වගකිවයුත්තන්ගේ අවධානය යොමු කරවීමේ අරමුණින් මිහිතලය සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රමදාන හා පෝස්ටර් ව්‍යාපාර ඇතුළුව සංවිධානය කරන ලද සාමකාමී පරිසර අරගලයක් ලෙස මිහිතල දිනය ආරම්භ කර ඇත. මෙහිදී එකල පැවති වියට්නාම් යුද්ධයෙන් සිදු වන පරිසර විනාශය පිළිබඳ ජනතාවගේ අවධානය යොමු නොවන බව දුටු ඔහු, දුමාරය,තෙල් වැගිරීම් හා කෘමිනාශක ආදීයෙන් පෘථීවියට සිදු වන හානිය සම්බන්ධයෙන් අවධානය යොමු කරවන ලදී. මේ සඳහා ඇමරිකානුවන් මිලියන විස්සක් පමණ සහභාගි වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර කිහිපයක් තුළ ඇමරිකාවේ පරිසර සංරක්ෂණයට අදාළ අණ පනත් ගණනාවක් ඇති වු අතර ඒ සඳහා වගකිව යුතු ආයතන කිහිපයක් ද ස්ථාපනය කිරීමට ද අවධානය යොමු කර තිබෙන බව පිළිගනී.

මෙම මිහිතල දිනය ඇමරිකාව තුළ ආරම්භ වුවද පසුව ලොව දසත ව්‍යාප්ත වු සංකල්පයකී. 1980 දශකයේ සිට සෑම වසරකම අප්‍රේල් මස 22 වැනි දිනය මිහිතල දිනය ලෙස සැමරීමට ලොව පුරා රටවල් රැසක් අවධානය යොමු කර ඇත. 1990 වන විට ලොව පුරා රටවල් 141ක පුද්ගලයින් මිලියන 200ක පිරිසක් මෙම දිනය සැමරිමට එක්විය. 2000 වසර වන විට ලොව පුරා පරිසර සංවිධාන 5000ක දායකත්වයෙන් රටවල් 184ක ලෝක මිහිතල දිනය සමරන  ලදී. එහෙත් මෙම දිනය එක්සත් ජාතීන් ගේ දිනයක් සේ නොසැලකේ. නමුත් 2009 වසරේ දී 'ජාත්‍යන්තර මිහිතල මාතා දිනය' යනුවෙන් හැඳින්වෙන්නේ ද අප්‍රේල් 22 වන දිනයයි. මෙය එක්සත් ජාතීන්ගේ සංවත්සර දිනයකි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2009 වර්ෂයේ දී සම්මත කරන ලද යෝජනාවක් අනුව මෙම දිනය නම් කරන ලදී. එහි අරමුණ "පොළව මත ඇති සියලුම ජිවීන්ගේ පැවැත්ම තහවුරු කරන පද්ධතියක් ලෙස මිහිතලය සැලකීම" යන්නයි.

ජගත් මිහිතල දිනයට අපට ලබාදිය හැකි දායකත්වය

  • දේශගුණික විපර්යාසයන්ට හේතුවිය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව දැනුවත් වෙමු .
  • ගෙවත්තේ, පාසලේ හෝ සුදුසු ස්ථානයන්හි නිසි පරිදි රුක් රෝපණය කරමින් රෝපණය කරන ලද ශාක නිසිපරිදි නඩත්තු කරමු.
  • පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය අවම කරමු.
  • බලශක්තිය සංරක්ෂණයට පියවර ගනිමු.
  • හැකි සෑම විටම පොදු ප්‍රවාහන ක්‍රම භාවිතයට නැඹුරුවෙමු.
  • පරිසර හිතකාමී බලශක්ති ප්‍රභව වෙත යොමු වෙමු.
  • අහිතකර පරිසර තත්ත්වයන්ට ඔරොත්තුදීමේ හැකියාව සහිත බෝග වර්ග හා ජීවී විශේෂ සංරක්ෂණය කරමු. අදාළ ප්‍රදේශවලට හදුන්වාදෙමු.
  • ජීවී විශේෂයන්ගේ පැවැත්මට හානිකර ද්‍රව්‍ය (උදා- කෘෂි රසායන) භාවිතයෙන් වළකිමු/ අවම කරමු.
  • නිසි පරිදි කසළ බැහැර කරමු.
  • හැකි සැමවිටම පරිසර හිතකාමී භාණ්ඩ භාවිතා කරමු.
  • පරිසර පද්ධතිවලට හානිවන ක්‍රියාකාරකම්වලින් වලකිමු.
  • ස්වභාවික සම්පත් අධිපරිභෝජනය සීමා කරමු..
  • ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණයකර ජල සම්පත් කළමනාකරණය කරමු.
  • වගකීමෙන් යුතුව පරිසර වින්දනය කරමු.
  • පරිසරය පිළිබඳව නිසි පරිදි දැනුවත් වීම හා අන්අයටත් එම දැනුම ලබාදෙමු.
  • සරල දිවිපෙවතක් ඇතිකරගනිමු

පරිසර අමාත්‍යාංශය විසින් 2023 වසරේ ජගත් මිහිතල දිනය සැමරීම සඳහා සිදුකරන ක්‍රියාකාරකම්

මෙම වසරේ ජගත් මිහිතල දිනය සැමරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ස්වාභාවික සම්පත් කළමනාකරණ අංශය විසින් පාසල් සිසුන් හා අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.04.24 දින පෙ.ව 9.30 සිට ප.ව 1.30 දක්වා අමාත්‍යාංශයේ 8 වන මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

  • මෙම වැඩසටහනේ දේශන වෙනුවෙන් සහභාගීවන දේශකයන් සහ දැනුවත් කිරීම සඳහා තෝරාගත් දේශන පහත පරිදි වේ.

 

  1. මිහිතල දිනයේ වැදගත්කම හා ස්වාභාවික සම්පත් අනාගත පරපුර උදෙසා ආරක්ෂා කිරීම

(ටී.එම්. අනුරුද්ධ තෙන්නකෝන් මයා, පරිසර විශේෂඥ, ඒකාබද්ධ ජලාධාර හා ජලසම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය, වාරිමාර්ග අමාත්‍යාංශය)

 

  1. දේශගුණ විපර්යාස හා ගෝලීය උණුසුම (ආචාර්ය ජගත්දේව විදානගමගේ මයා, ප්‍රධාන තාක්ෂණික විශේෂඥ, එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන වැඩසටහන)

 

  • මීට අමතරව, අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මකවන සුවදායී භූමි දර්ශ ව්‍යාපෘතිය මඟින් මිහිකත දිනය වෙනුවෙන් 2023.04.22 දින අනුරාධපුර, කුඩාකණුමුල්ල ප්‍රාථමික විද්‍යාලයේ පැල රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්වීම සිදුකරනු ලැබේ.
  • එමෙන්ම, උක්ත ව්‍යාපෘතිය මඟින් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තෝරාගත් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් ,ගුරුවරුන් 100 දෙනෙකු සඳහා පරිසර ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම හා  එල්ලංගා පද්ධතිය සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෝක ජල දිනය හා මිහිකත දිනයට සමගාමීව තිරප්පනේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

තවද, මේ හා සමගාමීව අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් කැණීම් භූමි පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් යටතේ නාත්තන්ඩිය ප්‍රදේශයේ වැලි කැණීම් සිදුකල අක්කර 1.5 ක භූමියක් පුනරුත්තාපනය කොට පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ