ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා තිරසාර පද්ධතියක් සංවර්ධනය කිරීමේ අරමුණින් 2023 සැප්තැම්බර් මාසයේදී JICA ආයතනය විසින් “ප්ලාස්ටික් කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය” නමින් නව ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. JICA ආයතනයේ පසුගිය වසර 20ක ඝන අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ දැනුම, අත්දැකීම් හා අන්තර් සම්බන්ධතා උපයෝගී කරගෙන ප්ලාස්ටික් ඉලක්ක කරගනිමින් චක්‍රීය ආර්ථිකය පිළිබඳ නව අදියරයකට මෙයින් මඟ පෙන්වනු ඇත.
වසර 3ක් තුළ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රධාන අංග 3ක් කෙරෙහි අවධානය යොමු කර ඇත.
- ද්‍රව්‍ය ප්‍රවාහය අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම
- ප්ලාස්ටික් ඇසුරුම් අපද්‍රව්‍ය සහ තනි භාවිත ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සහ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- මධ්‍යම පරිසර අධිකාරිය යටතේ අලුතින් පිහිටුවන ලද ප්ලාස්ටික් කළමනාකරණ මධ්‍යස්ථානයේ ධාරිතා සංවර්ධනය
2023 ඔක්‌තෝබර් 6 වැනි දින අදාළ සියලු පාර්ශව සම්බන්ධ කර ගෙන පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු ඒකාබද්ධ සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවැත්විය. එහිදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධාන 20කට අධික සංඛ්‍යාවකින් සමන්විත ක්‍රියාකාරී කණ්ඩායම් තුනක් පිහිටුවීමට එකඟ විය.
JICA ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත Tetsuya Yamada මහතා මෙහිදී අවධාරණය කරන ලද්දේ ප්ලාස්ටික් කළමනාකරණ පද්ධතිය සංකීර්ණ බැවින් එහි සාර්ථකත්වය සඳහා පුද්ගලික සමාගම්, පර්යේෂණ ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, සංවර්ධන හවුල්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තීරණාත්මක සාධකයක් බවයි. තවද ප්ලාස්ටික් කළමනාකරණ මධ්‍යස්ථානයට එවැනි පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් එහි අපේක්ෂාවන් ඉටු කිරීමට හැකි වනු ඇතැයි ඔහුගේ විශ්වාසයයි.
මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් (මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ) හේමන්ත ජයසිංහ මහතා, මධ්‍යම පරිසර අධිකාරියට මෙතෙක් ලබා දී ඇති JICA ආධාර පිළිබඳව අවධානය යොමු කළ අතර, මෙම ව්‍යාපෘතිය හරහා මධ්‍යම පරිසර අධිකාරියේ ප්ලාස්ටික් කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ශක්තිමත් පදනමක් සැකසීමට අපේක්ෂා කරන බව පැවසීය. මෙමඟින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ වගකීම් හා ප්ලාස්ටික් කළමනාකරණ ක්‍රියාදාමය අධීක්ෂණය කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කරන ලදී.
මෙහිදී මෙම ව්‍යාපෘතියේ කණ්ඩායම් නායක වන Dr. Naofumi Sato අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික ප්ලාස්ටික් කළමනාකරණ දත්ත ගබඩාවක් සංවර්ධනය කිරීම සඳහා බොහෝ නියෝජිතායතන සමඟ සහයෝගී සබඳතා ඇති කර ගැනීම සඳහා ගැඹුරු සම්බන්ධීකරණය මෙන්ම ප්ලාස්ටික් බහාලුම් සහ ඇසුරුම් අපද්‍රව්‍ය නැවත භාවිත කළ හැකි, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි හෝ ප්‍රතිසාධනය කළ හැකි නියමු ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡා කිරීම සහ ප්‍රමුඛත්වය දීම පිළිබඳව අවධානය යොමු කරන බවයි.




