1989 සිට මොන්ට්‍රියල් සන්ධානයේ පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාව ක්ලෝරොෆ්ලොරොකාබන් (CFC) භාවිතයෙන් බැහැර කර ඇති අතර, 2030 වන විට හයිඩ්‍රොක්ලෝරෝෆ්ලෝරොකාබන් (HCFC) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ඉලක්ක කරයි. 2016 දී ඇති වූ කිගාලි සංශෝධනයෙන් පසුව, ගෝලීය උණුසුම ඉහළ යාමට දායක වන හයිඩ්‍රොෆ්ලෝරොකාබන් (HFC) අඩු කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව 2045 වන විට HFC භාවිතය 80% කින් අවම කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකාව මේ වනවිට හයිඩ්‍රොකාබන්, ඇමෝනියා, හා කාබන් ඩයොක්සයිඩ් යන පරිසර හිතකාමී විකල්ප වලට මාරු වෙමින් පවතී. මෙම විකල්පයන් ගිනි ගන්නා සුළු විෂ සහිත ඒවා වන නිසා ශීතකරණ හා වායු සමීකරණ (RAC) හා ජංගම වායු සමීකරණ (MAC) ක්ෂේත්‍රයේ කාර්මිකයන්ට විකල්ප භාවිතය පිළිබඳ මනා පුහුණුවක් තිබීම අත්‍යවශ්‍ය වේ.
මීට සමඟාමීව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කලමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) සමඟ එක්ව, ශීතකරණ හා වායුසමීකරණ සහ ජංගම වායු සමීකරණ ක්ෂේත්‍රයන්හි සේවා අංශයේ නියුතු කාර්මික ශිල්පීන් ප්‍රමිති ගැන්වීම සදහා බලපත්‍ර ක්‍රමයක් හා නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම් පිරිනැමීමේ (සහතිකකරණ ක්‍රමවේදය යටතේ) ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව දෙපාර්ශවය විසින් 2024 ජනවාරි 23 වන දින අවිධිමත් කාර්මික ශිල්පීන් ප්‍රමිති ගැන්වීමේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.
මෙම ක්‍රියාවලිය අදියර දෙකක් යටතේ සිදු කරනු ලබන අතර, පෙර ඉගෙනුම් ක්‍රමවේදය (RPL) මඟින් සහතික නොලත් පළපුරුදු කාර්මික ශිල්පීන්ට ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 3 සහතිකයක් (NVQ 3) ලබා ගැනීමට ඉඩ සලසයි. පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කලමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය විසින් ඇගයීම්, පුහුණු සහ විභාග ද්‍රව්‍ය සඳහා වන සම්පූර්ණ පිරිවැය දරනු ලබන අතර , ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පුහුණුකිරීම් සහ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමඟ සියලුම ශීතකරණ හා වායු සමීකරණ (RAC) හා ජංගම වායු සමීකරණ (MAC) ක්ෂේත්‍රයේ කාර්මික ශිල්පීන්ට ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම 3 නොමිලේ ලබා ගැනීමට අවස්ථාව සැලසේ.
දෙවන අදියර ලෙස, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කලමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකය විසින් මෙම වැඩසටහන හරහා සුදුසුකම් ලබන ශීතකරණ හා වායු සමීකරණ (RAC) හා ජංගම වායු සමීකරණ (MAC) ක්ෂේත්‍රයේ කාර්මික ශිල්පීන්ට ශ්‍රි ලංකා ඉංජිනේරු සභාව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් හඳුන්වා දෙනු ලැබේ. එසේම, ප්‍රමාණවත් කාර්මික ශිල්පීන් සංඛ්‍යාවක් වෘත්තීමය වශයෙන් සුදුසුකම් ලැබීමෙන් පසු බලපත්‍ර ක්‍රමයක් (Licensing system) ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
2023 වර්ෂයේ අග භාගයේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ , 2024 වසර අවසාන වන විට අවිධිමත් කාර්මික ශිල්පීන් 600කට ජාතික වෘත්තීය සුදුසුකම මට්ටම 3 (NVQ level 3) ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත. මේ වන විට ශීතකරණ හා වායු සමීකරණ (RAC) හා ජංගම වායු සමීකරණ (MAC) කාර්මික ශිල්පීන් 300 ක් ජාතික වෘත්තීය සුදුසුකම මට්ටම 3 (NVQ level 3) සාර්ථකව ලබාගෙන ඇති අතර තවත් අයදුම්කරුවන් 300 දෙනෙකුට ජාතික වෘත්තීය සුදුසුකම මට්ටම 3 (NVQ level 3) ලබා දීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.
මෙම සහතික ලත් කාර්මික ශිල්පින් 300 දෙනාට ඊට අදාළ සහතික පත හා හැදුනුම්පත පිරිනැමීම සඳහා උත්සවයක් පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කලමනාකරණ හා ජාතික ඕසෝන් ඒකකයත්, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් සමඟ එක්ව, 2024 ඔක්තෝම්බර් 24 වන දින පරිසර අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වූයේ ශීතකරණ හා වායු සමීකරණ (RAC) හා ජංගම වායු සමීකරණ (MAC) ක්ෂේත්‍රය ප්‍රමිති ගැන්වීම, ජාතික වෘත්තීය සුදුසුකම 3 මට්ටම පිළිබඳ ප්‍රවර්ධනය කිරීම සහ මෙම වැඩසටහනට සම්බන්ධ වීමට අනෙකුත් කාර්මික ශිල්පීන් දිරිමත් කිරීමයි.
මෙම වැඩසටහන යටතේ පෙර ඉගෙනුම් ක්‍රමවේදය (RPL ක්‍රමය) යටතේ ජාතික වෘත්තීය සුදුසුකම් 3 වන මට්ටම නොමිලේ ලබාගැනීම සඳහා ලියාපදිංචි වීමට, “RAC<හිස්තැනක්>නම” ලෙස WhatsApp පණිවුඩයක් 0719590950 දුරකථන අංකයට එවිය හැකිය.
වැඩි විස්තර සඳහා සම්බන්ධ වන්න:
- ජයනාත් හේරත්, අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (0772943193)
- ඒච්. ඩී. අනිෂා රුක්ෂිනි, අධ්‍යක්ෂ, වායු සම්පත් කළමනාකාරණ හා ඕසෝන් ඒකකය, පරිසර අමාත්‍යංශය (0112034222)











