small gov

2025 ජූලි 26 දින, ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම පරිශ්‍රයේදී...

කඩොලාන පරිසර පද්ධතිය මඟින් ලබාදෙන පාරිසරික, ආර්ථික හා සමාජයීය සේවාවන් සැලකිල්ලට ගනිමින් එහි  සංරක්ෂණය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා  2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී සෑම වසරකම ජූලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස  ප්‍රකාශයට පත් කර ඇත. මෙම සුවිශේෂිත පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි තිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණවේ.

ඒ් අනුව, ජෛවවිවිධත්ව සම්මුතියේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වශයෙන් පරිසර අමාත්‍යාංශය මඟින් මෙම පරිසර පද්ධතිය සංරක්ෂණය හා තිරසර භාවිතය සම්බන්ධයෙන් අදාල රාජ්‍ය, පෞද්ගලික හා රාජ්‍ය නොවන ආයතන නිළධාරීන්, පාසැල් සිසුන්, තරුණ ප්‍රජාව සහ ප්‍රජාව සමඟ කඩොලාන සංරක්ෂණය, ප්‍රතිෂ්ඨාපනය හා තිරසර භාවිතය පිළිබඳ  විවිධ වැඩසටහන් මෙදිනට සමගාමීව  ක්‍රියාත්මක කරනු ලබයි.

මෙවර අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින සැමරීම් වැඩසටහන 2025 ජූලි මස 26 වන ගරු පරිසර අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආනවිලුන්දාව රැම්සාර් තෙත්බිම් පරිශ්‍රයේදී පවත්වන ලදී. මේ සඳහා ගරු පරිසර නියෝජ්‍ය ඇමතිතුමන්, පරිසර අමාත්‍යාංශ ලේකම්තුමන්, පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමන් ඇතුළු රාජ්‍ය නිළධාරීන්, පෞද්ගලික අංශ නිළධාරීන්, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය පුහුණු අධිකාරියේ සහ පාසැල් සිසුසිසුවියන් ඇතුළු 200 දෙනෙකු පමණ සහභාගී විය.    

මෙහිදී ආනවිලුන්දාව අභයභූමිය තුළ ක්‍රියාත්මක වන කඩොලාන කඩිනම් ස්වාභාවික පුනර්ජනන ව්‍යාපෘතියට අයත්  කඩොලාන පරිසර පද්ධති හායනය වී ඇති හෙක්ටයාර 3.2 ක ප්‍රදේශයක කඩොලාන ප්‍රතිෂ්ඨාපනය ආරම්භ කරන ලදී.

කඩොලාන කඩිනම් ස්වාභාවික පුනර්ජනනය (Accelerated Natural Regeneration of Mangroves - ANRM) ව්‍යාපෘතිය යනු විද්‍යාත්මක සංරක්ෂණ සහ ප්‍රජා සමෘද්ධිය අතර පරතරය පියවීමට උත්සාහ කර ඇති මුලපිරීමකි.

අතහැර දමන ලද ඉස්සන් කොටු හෙක්ටයාර 45 ක් විද්‍යාත්මකව ප්‍රතිෂ්ඨාපන කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වේ. මෙම ව්‍යාපෘතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වන අතර වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) මෙහි ප්‍රධාන විද්‍යා හවුල්කරු වේ. තාක්ෂණික දායකත්වය වයඹ විශ්ව විද්‍යාලය විසින් ලබාදේ.

මෙම උත්සාහයේදී WNPS සමඟ සහයෝගයෙන් කටයුතු කළ හවුල්කරුවන් කිහිප දෙනෙකු අතර Hirdramani Apparel, Hemas Consumer Brands, Lanka Environment Fund, Hayley’s Advantis, CMA CGM, Star Garments, Hapag-Liyod සහ Biodiversity Sri Lanka ඇතුළත් වේ.

2025 අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීමේ ජාතික වැඩසටහන පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානත්වයෙන් සහ WNPS ආයතනය, වයඹ විශ්ව විද්‍යාලය ANRM ව්‍යාපෘතියේ පර්යේෂණ කණ්ඩායම හා ප්‍රජාවගේ දායකත්වයෙන් සංවිධානය කරන ලදී. මෙහිදී ජාතික උත්සවය සාර්ථක කර ගැනීම සඳහා Hirdramani Apparel සහ Hayley’s Advantis ආයතන පරිසර අමාත්‍යාංශය හා එක්වන ලදී.  උත්සවය අවසන් වූ පසු ANRM ව්‍යාපෘතියේ පර්යේෂණ කණ්ඩායම සහ  වයඹ හා හොරයිසන් විශ්ව විද්‍යාලයේ සිසුන් එකතු වී වෘත්තීය පුහුණු අධිකාරියේ සහ පාසැල් සිසුසිසුවියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්ෂේත්‍ර අධ්‍යනයක් සමඟින් පවත්වන ලදී. මෙහිදී ඔවුන්ගේ දායකත්වයෙන් එම ප්‍රදේශයේ සොබා සංසදයක් ස්ථාපිත කිරීමේ කටයුත්තකට ද මුල පුරන ලදී.

1235b15aScreenshot 2025 07 31 115837Screenshot 2025 07 31 120101Screenshot 2025 07 31 120503Screenshot 2025 07 31 120624Screenshot 2025 07 31 124144Screenshot 2025 07 31 124357