එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳව රාමුගත සම්මුතිය (UNFCCC) සඳහා ජාතික කේන්ද්‍රීය ස්ථානය ලෙස පරිසර අමාත්‍යාංශය ක්‍රියා කරනු ලබයි. ඒ අනුව, පැරිස් ගිවිසුමට යටත්ව යාවත්කාලීන කරන ලද ජාතිකව නිර්ණය කළ දායකත්ව 2021 වර්ෂයේ ජුලි 30 වන දින එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳව රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කරන ලදී.
වඩා අභිලාෂකාමී ලෙස ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් ජාතිකව නිර්ණය කළ දායකත්ව වසර පහකට වරක් සංශෝධනය කර ඉදිරිපත් කරනු ලබන අතර එය හරිතාගාර වායු විමෝචනය අවම කීරිම (Mitigation), අනුහුරුවීම (Adaptation) සහ අලාභ හා හානි (Loss and Damage) යන අංශ වලින් සමන්විතවේ. විදුලි බලය, ප්‍රවාහන, කර්මාන්ත, අපද්‍රව්‍ය, කෘෂිකර්මය හා වනාන්තර යන අංශ හරිතාගාර වායු විමෝචනය අවම කීරිම යටතටත් කෘෂිකර්මය, ධීවර, පශුසම්පත්, ජලය, ජෛව විවිධත්වය, වෙරළබඩ හා සමුද්‍රීය, සෞඛ්‍ය, නගර සැලසුම් හා මානව ජනාවාස, සංචාරක හා විනෝදාස්වාද යන අංශ අනුහුරුවීම යටතටත් අයත්වේ.
මෙම ජාතිකව නිර්ණය කරන ලද දායකත්ව ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු රැස්වීම 2021 දෙසැම්බර් මස පවත්වන ලදී. මෙහි සභාපතිවරයා ලෙස පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කටයුතු කරනු ලබයි.
මෙම රැස්වීම සඳහා ප්‍රධාන අංශ නියෝජනය කරමින් වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහතා, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මොන්ටි රණතුංග මහතා, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා, කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා මෙන්ම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශ ලේකම් ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතා, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපති එන්. රණතුංග මහතා, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා සහ ධීවර අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික රණතුංග මහතා සහභාගී විය.
මීට අමතරව අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම රැස්වීම සඳහා සහභාගී වූ අතර කමිටු සාමාජිකයින්, ඔවුන්ගේ සැලසුම් සහ අධීක්ෂණ කමිටු හරහා ජාතිකව නිර්ණය කළ දායකත්වය ක්‍රියාත්මක කිරීමට සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට කැපවී සිටිති.
NDC ඉලක්ක සපුරා ගැනීම සඳහා හරිත දේශගුණ අරමුදල (Green Climate Fund) සහ අනුහුරුවීමේ අරමුදල (Adaptation Fund) වැනි දේශගුණ අරමුදල්වලින් අරමුදල් ලබා ගැනීමට සභාපතිවරයා කමිටු සාමාජිකයින් දිරිමත් කල අතර දේශගුණ මූල්‍ය පහසුකම් ලබාගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයේ උපරිම සහයෝගය ලබාදෙන බවට සහතික වන බව අවධාරණය කළේය.




