small gov

සෑම වසරකම ඔක්තෝම්බර් මස 14 වන දින ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනය වශයෙන් 2018 වසරේ සිට සමරනු ලබයි. මෙය බෙල්ජියමේ බ්‍රසල්ස් නගරය මූලික කරගෙන ලොව පුරා සිටින නිෂ්පාදක වගකීම මූලික කර ගත් සංවිධාන 43ක් නියෝජනය කරන්නගේ සංගමයක් විසින් විද්‍යුත් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය දිරිගැන්වීමට ආරම්භ කර ඇත. භාවිතයෙන් ඉවත් කරන ලද ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් උපකරණ, විද්‍යුත් හා  ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙසට නිර්වචනය කරනු ලබන අතර වඩා පුළුල්ව ගත් කළ එය විද්‍යුත් හා විදුලි උපාංග අපද්‍රව්‍ය ලෙසට හඳුන්වයි (Waste Electrical and Electronic Equipment–WEEE).  විද්‍යුත් අපද්‍රව්‍ය ගණයෙහිලා භාවිතයෙන් ඉවත් කරන ලද පරිගණක යන්ත්‍ර, මුද්‍රණ යන්ත්‍ර, ඡායා පිටපත් යන්ත්‍ර, ජංගම දුරකථන යන්ත්‍ර, ශීතකරණ ආදිය උදාහරණ ලෙස ගත හැක.

මෙවර ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ “කොතරම් කුඩා වුවද, ඒ සියල්ල ප්‍රතිචක්‍රීකරණය කරන්න” (Recycle it all, no matter how small) යන්නයි. ඒ අනුව මිනිසා විසින් තවදුරටත් භාවිත නොකරන ගෘහස්ථව ගබඩා කර තබා ඇති හෝ කසළ බඳුන්වලට දමා ඇති කුඩා ප්‍රමාණයේ විද්‍යුත් අපද්‍රව්‍ය ගැන වැඩි අවධානයක් දී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2019 වර්ෂයේදී ලොව කුඩා විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් මිලියන 22කට වඩා ජනනය කර ඇති අතර එය ගෝලීය වශයෙන් නිපදවන සියලුම විද්‍යුත් අපද්‍රව්‍යවලින් 40% ප්‍රමාණයක් පමණි. එලෙසම 2030 වන විට කුඩා ප්‍රමාණයේ විද්‍යුත් අපද්‍රව්‍ය ටොන් මිලියන 29 දක්වා ළඟ වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2021 වර්ෂයේදී සෑම පුද්ගලයෙක් විසින්ම සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7.6ක් ජනනය කර තිබේ. එනම් ලොව පුරා 2021 වර්ෂයේදී පමණක් ටොන් මිලියන 57.4ක් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ජනනය වී ඇති බවයි. හානිකර ද්‍රව්‍ය හා වටිනා ද්‍රව්‍ය මිශ්‍රණයක් අඩංගු මෙම ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් 17.4 %ක් පමණක් නිසි ලෙස එකතු කර ප්‍රතිචක්‍රීකරණය කර ඇති බවට සටහන්ව ඇත.

මේ තරම් අවම ප්‍රමාණයකින් ප්‍රතිචක්‍රීකරණය පැවතීමට හේතුන් ලෙස විද්‍යුත් අපද්‍රව්‍ය පිළිබඳ නිවැරදි දැනුම්වත්භාවයක් නොමැතිකම හා පාරිභෝගිකයින්ගේ අනිසි පරිහරණය නොමැතිකම යන්න එම වාර්තාවල දක්වා ඇත.

ජාත්‍යන්තර විදුලි සංදේශ සංගමය (ITU) ද පෙන්වා දෙන්නේ විද්‍යුත් අපද්‍රව්‍ය ලොව විශාලතම හා සංකීර්ණම අපද්‍රව්‍ය ප්‍රවාහයන් ගෙන් එකක් බවයි. මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අතර මේවායේ රත්රන්, රිදී, ප්ලැටිනම් වැනි වටිනා බැරලෝහ වර්ග මෙන්ම ආසනික්, කැඩ්මියම්, රසදිය වැනි ඉතා විෂ සහිත බැරලෝහ වර්ග ද අඩංගු වේ. මෙම විෂ සහිත බැරලෝහ වර්ග හා වෙනත් ගිනි ගැනීම් වළක්වන රසායනික ද්‍රව්‍ය ආදිය අඩංගු නිසා මෙම අපද්‍රව්‍ය “උපද්‍රවකාරී අපද්‍රව්‍යයක්” ලෙසට සලකනු ලබන අතර මෙම අපද්‍රව්‍ය වලදැමීම සහ පිළිස්සීම සිදු නොකළ යුතු අතර  නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට බැහැර කිරීමෙන් පාරිසරිකව හා සෞඛ්‍යමය වශයෙන් විශාල බලපෑමක් ඇති වන බව සොයාගෙන ඇත. ඉහත රසායනික සහ බැර ලෝහ පරිසරයට එකතු වීමෙන් ජලය, වාතය සහ පස දුෂණය වන අතර ශාක සහ සත්ත්ව ප්‍රජාවට ද බලපෑම් ඇති කරයි. මෙම අපද්‍රව්‍යවල අඩංගු වටිනා බැරලෝහ වර්ග හා අන්තරායකර විෂ ද්‍රව්‍ය ප්‍රතිසාධනය හා ආරක්ෂිතව ප්‍රතිචක්‍රීකරණය මඟින් ආර්ථික වටිනාකමක් මෙන්ම පාරිසරික හා මානව සෞඛ්‍යට හිතකර ප්‍රතිලාභ ලඟා කර ගත හැකි ය.  

ඒ අනුව ජාත්‍යන්තර විද්‍යුත් අපද්‍රව්‍ය දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශය මුලිකව ක්‍රියාකාරකම් කිහිපයක් සංවිධානය කර ඇත. මෙහිදී පසුගිය වසරේ මෙන්ම මෙවර ද අමාත්‍යාංශ සේවකයින්ගේ නිවාස හා අමාත්‍යාංශ පරිශ්‍රයේ එක් රැස්ව පවතින විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත. එයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරියේ සහ බස්නාහිර පළාත් සභාව තුළත් විද්‍යුත් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර ඇත.

EWD 2022 1 EWD 2022 2 EWD 2022 3 EWD 2022 4