small gov

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 1887 වර්ෂයේදී ආරම්භ කරන ලද අතර ශ්‍රී ලංකාවේ වන සංරක්ෂණයේ සහ විද්‍යාත්මක වන කළමණාකරණයේ ආරම්භය සනිටුහන් කරන ලදී.

 1907 වර්ෂයේ අංක 16 දරණ වන ආඥාපනත සහ එහි බහුවිධ සංශෝධන විිශේෂයෙන්ම, 1966 සහ 2009 වසරවල සිදු කරන ලද සංශෝධන වන නිලධාරින්ගේ වගකීම් වන වනාන්තර සහ ශාක සම්පත ආරක්ෂා කිරීම හා සම්බන්ධ රාජකාරිකටයුතු ඉටු කිරීමේදී යොදාගන්නා ප්‍රධානතම නීතිකාරක මෙවලම වේ. 2009 වර්ෂයේ සිට මෙම ආඥාපනත “වන සංරක්ෂණ ආඥාපනත” ලෙස හඳුන්වනු ලැබේ.

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ අභිවෘද්ධිය තහවුරු කරනු වස් වන සම්පත් සංරක්ෂණය සහ සංවර්ධනය කිරීම.”

දැක්ම

“රටවැසියාගේ හිතසුව පිණිස ජාතික ආර්ථිකයට දායකත්වයක් සපයමින් දැව සහ වෙනත් වන ද්‍රව්‍ය සඳහා වන ඉල්ලුම සපුරාලීම මෙන්ම, පාරිසරික සේවාවන් පවත්වාගෙන යාම සඳහා වනාන්තර සහ ශාක සම්පත තිරසර අයුරින් කළමණාකරණය කිරීම.”

අරමුණු

  1. ජෛවීය විවිධත්වය, පස, ජලය හා ඓතිහාසික, සංස්කෘතික, ආගමික සහ සෞන්දර්යාත්මක වටිනාකම් කෙරෙහි විශේෂ සැළකිල්ලක් දක්වමින් මතු පරපුරේ යහපත වෙනුවෙන් වනාන්තර සංරක්ෂණය කිරීම.
  2. වනජ නිෂ්පාදන හා සේවාවන් සඳහා වත්මන් සහ අනාගත පරම්පරාවන්ගේ අවශ්‍යතාවන් ජාතික මට්ටමින් සපුරා ලීමට, රුක් ආවරණය සහ වනාන්තරවල ඵලදායිතාව වර්ධනය කිරීම.
  3. ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ සමසේ බෙදී යාම කෙරෙහි වූ විශේෂ අවධානයකින් යුතුව, ග්‍රාමීය ජනතාවගේ සුබ සාධනයට වන ක්ෂේත්‍රයෙන් ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම.

දෙපාර්තමේන්තු ප්‍රධානියා වන්නේ වන සංරක්ෂක ජනරාල් වන අතර ඔහුට (i) වන ආරක්ෂණ, මෙහෙයුම් සහ කළමණාකරණ  (ii) පර්යේෂණ, අධ්‍යාපන සහ පුහුණු සහ  (iii) මානව සම්පත් කළමණාකරණ, පරිපාලන සහ ආයතනික සංවර්ධන යන අංශ වල වගකීම් දරණ අතිරේක වන සංරක්ෂක ජනරාල්වරු තිදෙනෙකු සහාය දක්වති.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රධාන කාර්යයන් සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ මෙහෙයවීම ප්‍රධාන කාර්යාලය මඟින් සිදුකරන අතර මෙම කාර්යයන් ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික අංශ නවයක් (09) ස්ථාපනය කර තිබේ. ඉන් (i) සමාජ වන විද්‍යා සහ වන ව්‍යාප්ති (ii) වන විද්‍යා සහ වන  වගා කළමනාකරණ (iii) සැලසුම් හා ප්‍රගති පාලන (iv)  වන ආරක්ෂණ සහ නීති ක්‍රියාත්මක කිරීම (v) පරිසර කළමනාකරණ හා  භූ සම්පත් (vi) භූ විද්‍යා තොරතුරු හා වන සංගණන (vii) පාරිසරික සංචාරක (viii) ජෛව විවිධත්ව හා ජලාධාර සංරක්ෂණ යන අංශ වන සංරක්ෂකවරුන්ගේ පාලනය යටතේද,  (ix) පර්යේෂණ, අධ්‍යාපන හා පුහුණු අංශය අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයෙකු යටතේ ද පාලනය වේ. කුඹල්පොල සහ බදුල්ල යන ස්ථාන වල ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථාන දෙකක් පිහිටුවා තිබේ. නුවරඑළියේ පිහිටි ශ්‍රී ලංකා වන විද්‍යායතනය සහ ඉනාමළුවේ පිහිටි වන විද්‍යා ක්ෂේත්‍ර පුහුණු මධ්‍යස්ථානය ප්‍රධාන වශයෙන් වන නිලධාරින් පුහුණුකිරීමේ කටයුතු වලට පිහිටුවා ඇත. ඊට අමතරව ගිණුම් අංශය, මානව සම්පත් කළමනාකරණ, පරිපාලන සහ ආයතනික සංවර්ධන අංශය හා විගණන අංශය දෙපාර්තමේන්තුව කළමණාකරණයට සහාය සේවාවන් සපයනු ලැබේ.

දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වනාන්තර වල කළමණාකරණය විමධ්‍යගත කිරීම සඳහා ශ්‍රී ලංකාව කලාප පහකට (05) බෙදා වෙන්කර තිබේ. එනම්, වයඹ - බස්නාහිර කලාපය, උතුරු කලාපය, දකුණු - සබරගමුව කලාපය, උතුරුමැද - නැගෙනහිර කලාපය සහ ඌව - මධ්‍යම කලාපය වශයෙනි. මෙම කලාප කාර්යාල නියෝජ්‍ය වන සංරක්ෂකවරුන් යටතේ පාලනය වේ.

මෙම කලාප පහ තුළ දිසා වන නිලධාරින්ගේ පාලනය යටතේ පවත්නා දිසා වන කාර්යාල 23 ක් ක්‍රියාත්මක වේ. මෙම දිසාවන් 23, වන අඩවි 81 කට බෙදා වෙන් කර තිබෙන අතර මෙම වන අඩවි, බීට්ටු සහ වන ක්ෂේත්‍ර සහකාර කොට්ඨාශවලට නැවත බෙදා වෙන්කර ඇත.

විමසීම් විස්තර 

  • රාජ්‍ය දැව සංස්ථාව
     නො: 82,  “සම්පත්පාය”, රජමල්වත්ත පාර,
     බත්තරමුල්ල.
  • +94 11 – 2 866631 /2
  • +94 011 – 2866633
  • This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
  • forestdept.gov.lk